Wednesday, February 22, 2012

Ahasgawwa: අහස් ගව්ව - දික්කසාද නඩු ගොනු- 0000001

නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි 

(උපුටා ගැනීම මෙතනින් . ලිපිය අවසානයේ පාදඩ සමාජයේ පාදඩ සින්දු, පාදඩ ගැටුලු සහ ව්සදුම් )

සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "අග පිපි මල්" නවකතාව මම ඉතාම ආසාවෙන් නැවත නැවතත් කියවන පොතක්.පසුව එය ටෙලි නාට්‍යක් ලෙසක් රස වින්දා.මධ්‍යම පාන්තික පවුලක සිදුවෙන් දික්කසාදවිම ගැන කියවෙන "අග පිපි මල්" මට කාරණා රාශියක් නිසා හරි සමීපයි .මගේ වෘතීය ජිවිතය ඇරඹෙන කාලයේ බොහෝ දික්කසාද නඩු ගොනු කියවන්න ලැබුණා.අපි මේ නඩු ගොනු දකින්නෙ කරුණු කාරණා ගොඩක් සම්පිණ්ඩණය කරලා නිගමන වලට එලඹෙන්න උවමනා "තොරතුරු සටහන් "හැටියට .නමුත් එයින් එහාට ගිය කොයි තරම සංවේදී හද සසල කරන කතා මේ වටා තියෙනවද ?

කසාද, දික්කසාද නීතිය සහ වචන අපිට ලැබුනෙ ලන්දේසි කාරයන්ගෙන් . පැරණි රෝම ලන්දේසි නීතිය අනුව නම් "කසාදය " ගිවිසුමක් .ඒකියන්න්නෙ "කන්ට්‍රැක්ට්" එකක්. හරි භෞතික දෙයක්. ඔය ගිවිසුම නීත්‍යානුකූලව විසුරුවා හැරීම තමයි දික්කසාදය . උඩරට නීතිය අනුව , මුස්ලිම් නීතිය අනුව සහ සාමාන්‍ය නීතිය අනුව කසාදයක් විසුරුවන්න උවමනා වෙන හේතු එකෙනෙකට වෙනස් . ඒත් ඔය කියන හේතු ඉදිරිපත් කරලා උසාවිය සෑහීමකට පත්වෙනවනම් කසාදෙ විසුරවන්න පුලුවන් .

කසාද සහ දික්කසාද ගැන තියෙන නීති කරුණු භෞතික හා රාජකාරි දේවල් වුනත්, මේ නඩු කටයුතු වලදි හද සසල නොවෙනවා කිව්වොත් එය හැබෑවක් නෙවෙයි .මේ කතන්දරය ලියන්න හිතුනෙත් ඒ නිසා 'අග පිපි මල් ' හි තේමා ගීතය මගෙ සවනට වැකුන වෙලාවෙ ඒ හැඟීම තීව්‍ර වුනා .මේ මගෙ ආධුනික කාලයේ අත් දැකීමක්.මෙහෙම දේවල් ගොඩක් තිබුනත සමහර වෘතීය කරුනු හරස් වීම නිසා ඒවා ලියන්න බැහැ.

එදා අගනුවරට ආසන්න දිස්ත්‍රික් උසාවියක දික්කසාද නඩුවක නසයි අඥාවක් නියත කරන දවසක්. තවමත් තරුණවිය නොඉක්මවූ ප්‍රකට පුද්ගලික ආයතනයක සේවය කරන කඩවසම් විධායක නිලධාරියෙකුත් , ඉතා රූමත් තරුණ වය්දයවරියකුත් පෙත්සම්කරු හා වග උත්තරකරු ලෙස පෙනීසිටියා. සැමියා නම් සිටියෙ මුහුනට නගාගත් උඩඟු සිනාවෙන් .ශෝකයෙන් වෙලුන බිරිඳ සෙමින් ඉකිලන වග මම දුටුවා . ඇය අපේ සේවා දායිකාව . මෙගේ ජ්‍යේෂ්ට සොහොයුරියක් ඇය වෙනුවෙන් පෙනී හිටියා .

නසයි තීන්දුව නියත කරමින් විවාහය විසිරවීමේ ආඥාව දිස්ත්‍රික් උසාවිය ප්‍රකාශකලා. ඇගෙ සිහින් ඉකි බිඳුම ඇයටත් නොදැනීම මහා කඳුලු ගංගාවක් වෙලා වේගවත් ඉකි බිඳුමකට හැරවිලා හිතේ හිරකරගෙන හිටි මහා වේදනාවක් ඉවුරු බිඳගෙන ගලා හැලෙනවා. නියෝගය නියත වීමත් සමග ඇගේ සැමියාව සිටි තරුණ නිලධාරියා නම් ඉතාම උදාරම් ලීලාවෙන් ,උඩඟු හිනාවෙන් තම නවීන මෝටර් රථයෙන් උසාවි බිමෙන් පිටව ගියා .ඒත් ඇය ?

කාලයක් ආදරයකරලා , අවුරුදු පහක් එකට දීගකාලා ,නාමෙට හරි එක වහලක් යට හිටිය දෙන්නෙකුට , තමන් එක්ක එකට හිටිය ගෑනි දිහා එකවරක් වත් නොබලා මෙහෙම යන්න පුලුවන්ද ? අඩු තරමින් මම යනවා කියන්නවත් හිතක් නැත්ද ?

ඇගේ මහා කඳුලු ගංගාව අපි සියලුදෙනාම වේදනාවට පත් කලේ ඇගේ කතාව අපි දන්නා නිසා . මෙවන් ගැහැනියකට අනුකම්පාව ඇවැසි වුනත් ඇය හැම දෙනගේම කුහුලින් පිරුන ඇස්වලට කතා මවන රසඳුනක් නොවිය යුතුයි .කසාද නිවසට නැවත යාමට අයිතිය අහිමි ඇයට අඩු තරමින් නිදහසේ හැඬීමටවත් ඉඩ දිය යුතුයි . ඒ නිසා අපි තීරණය කලා ඇය අපේ නිල මැදිරියට මදකට ගෙන යන්න .

මේ දෙන්නගේ විවාහය පෙම් සබඳතාවක් . ඒකත් හරි වෙනස් විදියට සිද්ද වුන දෙයක්. මේ තරුණයා ඇය හඳුනා ගන්නෙ , අගේ සොහොයුරියට ඉදිරිපත් වූ විවාහ යෝජනාවකින් . සොහොයුරියට සහ දෙමාපියන්ට ඔහු නොගැලපුනත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් සෙනෙහසක් උපදිනවා. එය පෙම් සබඳතාවක් වෙලා දෙමවුපියන් එරෙහි වුවත් ඇය නොවෙයි එය නවතන්නෙ . "ඔය විවාහය කරහත්තොත් අයෙත් පවුලට වැද්ද නොගන්න බවට" ඇගේ මවත් ,පියාත් තර්ජනය කරද්දි , ඇය තනි කැමැත්තට ආසිරි සිලෝගීත දෙමාපිය හිතමිතුරු පිරිවර සෙනග නැතිව ඔහු හා අතිනත ගන්නවා ඒ වසර පහකට උඩදි .

එතකොට ඔහු ආයතනයේ සාමාන්‍ය මට්ටමෙ නිලධාරියෙක් . එත් ඇගේ මෙහෙයවීම , උනන්දු කිරීම විතරක් නෙවෙයි , ඇගේ ආර්ථික ශක්තිය නිසාත් ඔහුට හැකිවෙනවා තමන්ගෙ රැකියා ක්ෂ්ත්‍රයේ ඉහල සුදුසුකම් ලබන වෘතීය විභාග කීපයකට පෙනී සිට සමත් වෙන්න . ඒනිසා ඔහු ඉතා ඉක්මනින් ආයතනයේ ඉහලම මට්ටමේ තනතුරක් හොබවන විධායක නිලධාරියෙක් වෙනවා.ප්‍රශ්නෙ පටන්ගන්නෙ එතැන ඉඳලා .
අවුරුදු පහකට පස්සෙ ඔහුට ඇගේ අඩුපාඩු පේන්න ගන්නවා . ඔහුගෙන් ඇයට එල්ලවන පලවෙනි චෝදනාව හා දෝෂාරෝපණය දරුවන් නැතිකම . ඒක අවියක් කරගෙන ඇයට හිත් රිදවීම කරන්න විතරක් නෙවෙයි ඇයව නොතකා හැර වෙන තරුණියන් හා පෙම් සබඳතාවල පැටලෙන්නත් ඔහු පසු බට වී නැහැ . අන්තිමට ඔහුගේ ආදරය සිඳී වියලී යාමත් එක්ක ඇතිවන දැඩි බලපෑම් නිසා ඇය විවාහක නිවස හැරදා යනවා. නැවත ඔවුන් මුණගැහෙන්නෙ උසාවි බිමේ , ඔහු විසින් ඇය වග උත්තර කාරිය කර හා ඔහුපෙත්සම් කරු ලෙස පවරන දික්කසාද නඩුවකදියි.

ඔහු මේ නඩුව පුරාම ඇගෙන් දික්කසාදවීමේ දැඩි මතයක සිටියා.ඔහුට ඇය පෙනෙන්න ඇත්තෙ අලුයම ලූ කෙල පිඬක් වගේ .

ඇය මේ තරම් හඬා වැලපුනේ තාමත් ඇගේ හිතේ ඔහු වෙනුවෙන් තියෙන ආදරයත්, තමන් ගැන ඇතිවුන , ආත්මානුකම්පාවත් නිසාවෙන්න ඔනෙ. දෙමවුපියන් පවා එරෙහි වෙද්දි තනි මග ගිය ගැහැණියක් වූ ඇයට ඔහුත් ඇතුලුව බොහෝ දේ අහිමිව ගොස් තිබුණා.පවුලෙහි සියළුදෙනා ඇය සැලකුවේ ඔවුන්ගේ මුහුණු වල දැලි ගෑ එකියක් ලෙස .ඒ නිසා ගෙදරට ,පවුලට නැවත ගෙන්වා නොගැනීමේ පිය මහරජ අණ ක්‍රියාත්මක වෙලා තිබුණ.විනාඩි විස්සක් පමණ එක දිගට ඇය හැඬූ අයුරු අපේ හිත් සසල කලා.

උසාවි බිමෙන් නික්මී යන ඇයට ඇත්තේ කාගේ සවියද?සමාජයෙන් ඇයට කොයිතරම අපවාද ,අවමාන එල්ල වෙවිද ? මගේ හිතෙන් ආව එකී පැනයත් සමග ඇය නැගීසිටියේ එතනින් නික්ම යන්න. මගේ සහෝදර නිලධාරිනියගේ සන් කිරීම අනුව මම ඇය ඇගේ මෝටර් රථය තෙක් කැඳවා ගෙන ගියා .

අපි නිහඬව උසාවි සංකීරණයේ මදක් ඈතින් වූ රථ ගාල වෙත පිය මැන්නා.
"මේ මගේ පලවෙනි සහ අවසාන ආදරය, දැන් මම හිත හදාගන්න ඔනෙ , මාරුවක් අරගෙන මම ඈත පලාතකට යනවා ටික කාලෙකට .එතකොට මට මේවා අමතක කරන්න පුලුවන් වෙයි හෙමින් හෙමින් "

නිහඬ බව බිඳිමින් ඇය සෙමින් මා හා කතා කරන්න පටන් අරන් තිබුනා.මටත් නොදැනී ඇය මගේ අතක් අල්ලාගෙන මෝටර් රථය වෙත පිය මනිමින් හිටියා. ඇගේ අතේ සීතල ස්පර්ශය මට දැනුනා.ඒත් මම උත්සාහ කලේ නැහැ මගේ අත මුදාගන්න ඇයගෙන්.

එදායින් අවුරුදු පහකට කලිනුත් මේ ගැහැනිය ඔහු හා අතිනත අරන් ඇගේ මංගල ගමන යන වෙලාවේ ඇයට ආසිරි සුබ පැතුම් පතන්නට , මල් වරුසා විසුරුවන්නට කවුරුත් නොහිටින්න ඇති . අදත් ඇය කිවිවෙකුත් නැතිව , හුදෙකලාව එදා බැඳි පෙම් දම් විසුරුවා දමා තනිමගක යන වග මට සිහිවුනා.
"බැන්ද රන් දම් මගේ ගෙල වට මුදා අහසට..... නුඹට රිසි නම් යන්ට යන්නෙමි මගේ හිමියනි".....
පසු සටහන
ඇගේ සිදුවීම අපේ රාජකාරි දිවියේහි තවත් එක දික්කසාදයක් වුවත් එය කොපමණ අපේ සගයන් ගේ හද සසල කලාද කිව්වොත් ඇය වෙනුවෙන් පෙනී සිටි මගේ සහෝදර නිලධාරිනිය හවස ඇයට තිබුන සියලු රාජකාරි නඩු කටයුතු වෙනත් සොයුරෙකුට පවරා වරුවක නිවාඩු ගෙන ගෙදර ගියා ඇගේ හිත මහත් සේ කම්පාවූ වග පවසමින්. දික්කසාද නඩු ගොනු මහ ගොඩක් කියවූ මම ඊට ටික කාලෙකට පස්සෙ තීරණය කලා උසාවිය මට හිමි රාජකාරි ස්ථානය නොවන වග .


---

පාදඩ සමාජය පාදඩ සිංදුවකින් අහමු: අංගම්මන සුමන


පාදඩ සමාජයේ පාදඩ ප්‍රශ්න සහ විසදුම්
(ශ්‍රී ලංකාවේ තහනම් කල රේඩියෝව )


No comments:

Post a Comment